ලෝකයේ ලොකුම රට කුමක්ද?

වර්ග කිලෝමීටර් 17,125,191ක භූමි වපසරියක් තුළ විහිදී පැතිරී ගිය ඒ රටේ තමා ලෝකයේ හැම රටකටම වඩා විශාලත්වයෙන් වැඩි ප්‍රදේශය තියෙන්නෙත්. ඒ භූමි ප්‍රදේශයේ විශාලත්වය ඒ රටේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනක්.

හොඳට කන බොන මිනිස්සු ඉන්න මේ රටේ, සියලු ආහාරපාන නොමිලේ පිරිනමන ඇණවුම් කළ ආහාරයක් ආහාරයට ගෙන අහවර වූ ඉනික්බිති තවත් ආහාර වර්ගයක් ආහාරය පිණිස නොමිලේ ලබාගත හැකි, අවන්හල තුළ රැඳී සිටින කාලයට පමණක් මුදල් අය කරන අමුතුම ආකාරයේ අවන්හල් ජාලයක් ඇති මේ රටේ, 2011 වසර වන තෙක් ඇල්කොහොල් ප්‍රතිශතය 8%ක් හෝ ඊට අඩු බියර් කෑන් මත්ද්‍රව්‍යයක් ලෙස නොසලකමින් කුඩා දරුවකුට වුණත් බියර් කෑන් මිලදී ගන්න නිදහසක් තිබුණු මේ රටේ, පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 64ක් වුණත් 55 උපන් දිනය සමරන්න තරම් වාසනාවක් හුඟාක් පිරිමින්ට නැතිවෙච්ච මේ රටේ, සමලිංගික සබඳතාව අපරාධයක් විදිහට සලකන මේ රටේ, සතියකට වොඩ්කා ලීටර් හතරක් විතර බොන පිරිමි ඉන්න මේ රටේ, රටවල් දාහතරක දේශසීමාවලට යා වෙච්ච නිසා ලොව වැඩිම දේශසීමා ගණනක් හිමි රාජ්‍ය ලෙස නම් ලද මේ රටේ, ඒ වගේම මේ රටේ අගනුවර තදබදය හින්දා ඉක්මනින් ගමනාන්තයට සේන්දු වෙන්න සල්ලිකාරයන් මුදල් ගෙවා ගිලන් රථවල ගමන් බිමන් යන මේ රටේ, ලොව අලංකාරම දුම්රියපොළ පිහිටි මේ රටේ තමයි ලොව ගැඹුරුම හා පැරණිම විල වෙච්ච බයිකල් විල පිහිටා තියෙන්නෙත්.

වසර මිලියන 25කට වඩා පැරණි මීටර් 1700කට වඩා ගැඹුරු මුළු ලෝකයේම ද්‍රව තත්ත්වයේ ඇති මිරිදියෙන් පහෙන් එකක් මේ විල සන්තක කරගත් ඒ විල ඇති රටේ නම තමයි රුසියාව.

අරුම පුදුම සුන්දර ආදරණීය විශ්වීය ඇගැයුම් ලද සාහිත්‍යයක් තිබූ මේ රට තමයි ලෝකයේ පළමු සුපිරි සමාජය (Global Super Society) ලෙස විවරණ ලැබුවෙත්. සීතල යුද්ධය යනුවෙන් අමුතු යුද්ධයක් ලෝක ඉතිහාසයට එක් කිරීමේ පංගුකාරයෙක් වූ රුසියාව කියන මේ රට සීතල යුද්ධය පැවති කාලයේ ලෝකයට විද්‍යාවෙන්, තාක්ෂණයෙන් සාහිත්‍යයෙන් විශිෂ්ඨතා රැසක් එක් කළ එක කලෙක ලෝකයේ පළමු සුපිරි සමාජය ලෙස ලෝකයේම බලවතා බවට පත්වූ ලස්සනම රටක්…

ලෝකෙටම ලොක්කෙක් සේයාවෙන් කාටත් බය නැති අසහාය පාලකයෙක් තමයි අද රුසියාව හසුරුවන්නේ. එයාගේ නම ව්ලැදිමීර් පුටින්… අමුතුම තාලේ ටිකක් පැද්දෙන හෙමින් ගස්සන ගමන් විලාසයක් ඇති ශක්තිවන්ත කඩවසම් නිහඬ ගැඹුරු නිර්භීත කෙලින් කතා කරන කෙලින් ටොක්ක අනින නියම නායකයෙක් තමයි ඇත්තටම පුටින්.

කියවන්න:  ලෙස්ටර්: සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

ව්ලැදිමීර් පුටින්

1951 අවුරුද්දේ ඉපදුණු පුටින් 2022 ඔක්තෝබර් 07 වැනිදාට තමන්ගේ දිවිසැරියේ 70 වැනි උපන් දිනය සලකුණු කරනවා. රස වොඩ්කා ඇතිපදමට ඇති රටේ ශක්තිවන්ත පිරිමියකු ලෙස ජීවිතයේ හත්වැනි දශකය පසු කළත් ඇත්තටම පුටින් තාම තරුණයි.

ව්ලැදිමීර් පුටින් කියන්නේ රටක ජනාධිපතිවරයෙක් විතරක් නෙවෙයි. පුටින් කියන්නේ එක්තරා ආකාරයක මහාචාර්යවරයෙක්. සෝවියට් රහස් ඔත්තු සේවාව වන කේ.ජී.බී. හි ගත කළ කාලය තුළ ජීවිතය වෙනුවෙන් උකහා ගත් විශේෂතාවලින් පුටින් අදටත් සන්නද්ධ මිනිසෙක්. මම හිතන්නේ පුටින් වෙතින් දිස්වෙන ආකර්ෂණීය පෞරුෂත්වයට ඒ රුසියානු රහස් සේවාවෙන් ලැබ ඇති පුහුණුවත් එක හේතුවක්.

පුටින් දන්න දේවල්, එහෙමත් නැත්නම් ලෝකෙට ලොක්කෙක් වූ පුටින්ගේ විශේෂතා ගැන ඇත්තටම අපි කතා කරන්න හිතුවේ ජනපති පුටුවේ හිඳගත් එවැනි ලොක්කන් ලෝකේ තවත් නැති තරම් වෙන හින්දා.

පුටින් වතුරේ බැහැලා හිතේ හැටියට පීනන්නත් හරි රුසියෙක්. නිදහසේ කල්පනා කරන්න, තීරණ ගන්න අද දවසේ මම වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි කියලා සැලසුම් කරන්න පුටින් තෝරාගත්තේ කාර්යාල කාමර, සාකච්ඡා, වොඩ්කා, මේ කිසිම දෙයක් නෙවෙයි. විශාල පිහිනුම් තටාකයක්. උදේ ආහාරයෙන් සප්පායම් වෙන්නත් ඉස්සර පිහිනුම් තටාකයේ පැය දෙකක් විතර යහමින් පීන්න පුටින් කියන්නේ එහෙම වතුරෙ බැහැලා ඉද්දි පුදුමාකාර මානසික නිදහසක් තමන්ට ලැබෙන බවයි. රුසියාව ගැන පුටින් හිතන්නේත්, රුසියාව ගැන බරපතළ තීන්දු තීරණ ගන්නෙත්, රටේ ලොක්කා විදිහට පුටින් කරන දේවල් තීරණය කරන්නෙත්, පීනන අතරේදී. බටහිරට ”හායි” කියන යු‍ෙක්‍ර්නය ගැන පුටින් තීරණය කරන්න ඇත්තෙත් සමහරවිට ඔය විශාල පිහිනුම් තටාකයේ පිහිනන ගමන් වෙන්න ඇති.

මාළු අල්ලන්නත් පුටින් හරි හපනා. ඇත්තටම ව්ලැදිමීර් පුටින් කියන්නේ දක්ෂ දඩයක්කරුවෙක්. රුසියාවේ වනගත ප්‍රදේශවලට ගිහින් දඩයමේ යෙදීම පුටින්ට ජීවිතයේ විනෝදාස්වාදය ගෙන දෙන්නක්. මාළු අල්ලන්න ගිය එක් වතාවකදි රාත්තල් 46ක් බර මාළුවෙක් අල්ලලා පුටින් එම ජලාශයට අදාළ වාර්තාවකුත් තියලා තියෙනවා. දවසක් පුටින්ගේ දඩයම් චාරිකාවක් රූගත කරන්න කට්ටිය කැමරා අටවාගෙන යද්දි ඒ කට්ටියම සයිබීරියන් ව්‍යාඝ්‍රයෙක්ගේ ප්‍රහාරයකට ලක් වුණා. ලෝකෙට බය නැති පුටින් ව්‍යාඝ්‍රයාට බය වුණෙත් නෑ. ව්‍යාඝ්‍රයාට ආයෙත් හතර මායිමේ එන්න නොහිතෙන විදිහට එදා පලවා හැරියෙත් පුටින්. කොහොමත් පුටින් කියන්නේ කේ.ජී.බී. ඉන්න කාලේ ආත්ම ආරක්ෂාව පිළිබඳව කදිම පුහුණුවක් ලද්දෙක්.

ව්ලැදිමීර් පුටින් කඳු නගින්නත් හරි රුසියා. තරුණ විය ගෙවද්දී පුටින්ගේ ජීවිතේ ප්‍රියතම විනෝදාංශය වුණේ කඳු තරණයයි. තමන්ගේ උපන් දිනය දවසේ කන්දක් නගිමින් ගත කරන්නත් පුටින් විශාල කැමැත්තක් දක්වනවා. 2011 වසරේදි කිරිකිස්ථානයට අයත් කඳු මුදුනක් ව්ලැදිමීර් පුටින් පීක් ලෙස නම් කරලා තියෙන්නෙත් පුටින්ගේ කඳු තරණයට ඇති කැමැත්තට දක්වන උපහාරයක් විදිහටයි. සයිබීරියාවේ තියෙන කුන්ද්‍රා වනාන්තර සහිත කඳු තරණය කරන්න ඒ කඳුවල මුදුනටම නගින්න පුටින්ගේ විශේෂ කැමැත්තක් තියෙනවා. 2019 උපන් දිනය පුටින් සමරලා තියෙන්නෙත් මීටර් 2000ක් උස සයිබීරියාවේ කන්දකට නැගලා.

කියවන්න:  පාන්දර තුනට නින්දට යන ජනපති පුටින්

බඩ තඩි නැති ශක්තිවන්ත පුටින් කියන්නෙ ඇත්තටම හැටේ කොල්ලෙක් වගේ කියලා ඔබට නොහිතුණොත් තමයි පුදුමය… 2009 වර්ෂයේදි කායික යෝග්‍යතා පුහුණුකරුවන් කළ පරීක්ෂණයක ප්‍රතිඵල ඇහුවොත් ඔබට එහෙම පුදුමයක් දැනෙන එකක් නෑ. එහි ප්‍රතිඵලය තමයි ”ලොව සිටින හොඳම ශාරීරික යෝග්‍යතාව සහිත රාජ්‍ය නායකයා වන්නේ ව්ලැදිමීර් පුටින්.”

කඳු නඟින්න යන පුටින් එක්ක නිතරම ළඟ ඉන්න පුටින්ගේ කිට්ටුම සඟයා තමයි Sergey Shoygu. Sergey කියන්නෙත් රුසියාවේ එසේ මෙසේ මනුස්සයෙක් නෙවෙයි. රුසියාවේ ආරක්ෂක ඇමැතිවරයා.

ඒ වගේම පුටින් කියන්නේ හොඳ පුහුණු කිමිදුම්කරුවෙක්. ශ්වසන උපකරණ නොපැළඳ විනාඩි තුනක් පමණ කාලයක් කිමිදෙන්න පුටින්ට පුළුවන්. ශ්වසන උපකරණ පැළඳ ගැඹුරු මුහුදේ කිමිදෙන පුටින් එහෙම කිමිදෙද්දි බෙලිකටු, ගිලුණු නැව්වල කොටස් එහෙමත් එකතු කරනවා. එහෙම එකතු කළ එකතුවක්ම පුටින් සතුයි.

රුසියාවේ ලොක්කට ගිනිඅවිත් හොඳට හුරුයි. ගිනි අවි හසුරුවන්න විතරක් නෙවෙයි ඒවා නඩත්තු කරන්නත් ලෝකෙට ලොක්කෙක් වෙච්ච පුටින් කදිමට ඉගෙනගෙන තියෙනවා. පිස්තෝල, රයිෆල්, රිවෝල්වර්, මැෂින් තුවක්කු, පැරණි කාලතුවක්කු, කී නොකී බොහෝ අවි හැසිරවීමට සහ නඩත්තුවට පුටින් විශේෂඥ මට්ටමේ පුහුණුවක් ලද කෙනෙක්. තමන් රුසියාවේ ජනාධිපති වුණා කියලා පුටින් ගිනි අවි පුහුණුව අත්හැරියේ නෑ. අදටත් ආරක්ෂකයන් කවුරු හිටියත් ඒ කාලේ පුරුද්දට පුටින් ගිනි අවියක් ළඟ තියාගෙන ඉන්නවා. ව්ලැදිමීර් පුටින් ඇවිදිද්දි දකුණු අත වම් අත සෙයින් නොසෙල්වමින් වැඩිය එහෙම මෙහෙට නොකර ඉණ මට්ටමට සමානව වගේ තියාගෙන ඉන්නේ. කේ.ජී.බී. ඉන්න කාලයේ ක්ෂණිකව ගිනි අවිය භාවිතය ගැන ලද පුහුණුව නිසා.

ගිනි අවි සහ ගිනිකෙළි විතරක් නෙවෙයි, අහස මුහුද පොළොව හැමතැනම පුටින්ට හරි පුරුදුයි. දිය ගොඩ අහසේ ඕනෑම යාත්‍රාවක් වාහනයක්, යානයක් හසුරුවන්න පුටින්ට හැකියි. පොළොවේ ජව අධික මෝටර් සයිකල්, මෝටර් රථ, බස් ලොරි පළපුරුදු රියදුරෙක් ලෙස හසුරුවන පුටින් මුහුදෙදි හරි හරියට යුද ටැංකි, ඔරු, ඩිංගි රුවල් නැව්, බෝට්ටු වගේම අහසෙන් හෙළිකොප්ටර් එකක ඔට්ටු වෙන්නත් හරි හපන්. සැහැල්ලු ගුවන් යානා බලපත්‍ර හිමි පුටින්ට සිවිල් සහ යුද හෙළිකොප්ටර් රැසක් මැනවින් හසුරුවන්න පුළුවන්.

කියවන්න:  Sake(සකේ): ජපානයෙන් උපත ලැබූ සකේ

ඒ විතරද.. නෑ හොඳට අශ්වයන් පදින්න, බල්ලන් අදින හිම යානා පැද යන්න වගේම හීලෑ වලසුන්ගේ පිටේ නැගගෙන වතුර කඳන් දෙබෑ කරගෙන යන්නත් පුටින්ට පුළුවන්.

ක්‍රීඩාවටත් පුටින්ගේ ජීවිතයේ විශාල ඉඩකඩක් වෙන් කළ දෙයක්. පුටින් කියන්නේ දක්ෂ අයිස් හොකී ක්‍රීඩකයෙක්. ඉස්කෝලේ යන කාලෙත් හොකී සෙල්ලම් කළ පුටින් තරුණ විය එළඹෙද්දි ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක්ගේ තරමටම හොකී ක්‍රීඩාවේ දස්කම් පෙන්වුවා.

2019 දි ඔහු වරක් රුසියානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ සෙල්ලම් කළේ තමන්ගේ විනෝදය වෙනුවෙන්. ඒ තරගයෙදි ගෝල අටක් වාර්තා කරන්න එවකට හැට හත් වැනි විය ගෙවමින් සිටි පුටින්ට හැකි වුණා.

කොහොමත් පුටින්ගේ වැඩි කැමැත්ත තියෙන්නේ ආත්මාරක්ෂක සහ ආක්‍රමණශීලී සටන් කලාවට. ජූඩෝ, සැම්බෝ සහ මුහුණට මුහුණ සටන් හැකියාව පුටින්ට ඉහළින්ම තියෙනවා. ජූඩෝ පුටින්ගේ ප්‍රියතම ක්‍රීඩාවක්. ඒ වගේම පුටින් ජූඩෝ ක්‍රීඩාවේ කළු පටි ධාරියෙක්. මේ සියල්ල අතරේ තමන්ගේ ශාරීරික යෝග්‍යතාව නිසි අයුරින් තබාගන්න බොක්සිං ක්‍රීඩාවේ යෙදෙන පුටින් රුසියාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් වන අර්ධ මැරතන් දුවන්නත් හරි ආසයි. කිලෝමීටර් විසි එකයි දශම එකක් විනාඩි අසූවකට වඩා අඩු කාලයකදි දුවන ජව සම්පන්න පුටින්ට තත්ත්පර කට්ට දොළොස් වාරයක් කැරකෙන්න ඉස්සර මීටර් සීය දුවන්න පුළුවන්.

ලෙඩ නැති වැඩ ඇති දේහධාරී ශක්තිමත් පුටින්ට තියුණු දෘෂ්ටියක් වගේම හොඳ සංවේදන හැකියාවකුත් උරුමයි.

පුටින්ට ජීවිතය ලස්සනට කියා දෙන්න හොඳ ආච්චිඅම්මා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ ආච්චිඅම්මා පුටින් දරුවෙක් කාලේ කියා දුන්නු දේවල් අදටත් පුටින් ජීවිතයෙන් අත්හැරලා නෑ.

පුතා හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගන්න ශක්තිමත් පිරිමියෙක් වෙන්න උදේ ආහාරයට වටු බිත්තර කන්න… මී පැණි මිශ්‍ර කර තේ බොන්න. පළතුරු හරි හරියට කන්න. පුළුවන් හැම වෙලාවෙම සුළඟ අපිට හොඳට දැනෙන්න එළිමහන වෙලා ඉන්න.

එදා ආච්චි කුඩා පුටින්ට කියා දුන් දේවල් අදටත් පුටින්ගේ ජීවිතයේ පරමාදර්ශ වී ඇති වග අපූරුයි.

ඇත්තටම හිස නැති කය ඇති බොහෝ මිනිසුන් අතර රුසියාව රජ කරවන ව්ලැදිමීර් පුටින් කියන්නේ අසහාය අසමාන ඇත්තටම නායකයෙක් වග පුටින්ගේ ජීවිතය දිහා ගැඹුරට එබිලා බලද්දි තේරුම් ගන්න පුළුවන්. වටින් ගොඩින් නැති කෙළින් පුටින් ගැන ඒ ඇත්ත ඇත්තටම ඇත්තක්.

( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි. )

සංජීවිකා සමරතුංග

A Day In The Life Of Vladimir Putin