ජපානය යනු ලෝකයේ දියුණු රටවල් අතර ඉදිරියෙන් ම සිටින රටක් ලෙස හදුන්වා දිය හැකිය. ඉතා ඉපැරණි හා ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියන්නා වූ ජපානයේ ආහාර සංස්කෘතියට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන් ම ජපන් ජාතිකයන් ඉතා පෝෂ්‍ය ගුණයෙන් යුත් සංඝටක අඩංගු ආහාර ඔවුන්ගේ දිනපතා ආහාර වේලට එක් කර ගැනීමට වැඩි වශයෙන් උනන්දු වේ. මෙවැනි සුවිශේෂී ජීවන රටාවක් ගත කරන්නා වූ ජපන් ජාතිකයන්ට ම විශේෂිත වූ පානයක් ලෙස “සකේ” හදුන්වා දිය හැකිය.

මධ්‍යසාරයක් වන සකේ පානයේ උපත සිදුවන්නේ ද ජපානයේමය. එසේම සකේ නිෂ්පාදනය සදහා භාවිතා කරන්නා වූ තාක්ෂණය ද ජපානයට ම ආවේණික වූ තාක්ෂණයක් වීම සුවිශේෂී කරුණකි. සහල් පැසවීමට ලක් කිරීමෙන් පසුව සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලිය පසුව පෙරීමට ලක් කිරීමෙන් සකස් කරගනු ලබා සකේ පානය “වයින් සහල්” යනුවෙන් ද ඇතැම් රටවල හදුන්වනු ලැබේ. මෙම පානයේ මධ්‍යසාර අන්තර්ගතය 18% ත් 20% ත් අතර අගයක් ගනු ලබන අතර මෙය වයින් සහ බීර වලට වඩා වෙනස් ස්වරූපයක් ගනු ලැබේ. ජපන් සංස්කෘතියේම අංගයක් බවට පත්ව ඇති සකේ පානයට ඔවුන් දක්වනුයේ අධික කැමැත්තක් සහ ආදරයකි. එසේම ඔවුන්ගේ විශේෂ අවස්ථාවන්හී දී පවා මෙම පානය පිළිගන්වන අතර, එවිට “ටෝක්කුරි” නම් කුඩා මැටි බදුනක පිළිගන්වනු ලබයි. එසේම සකේ පානය කිරීමට ද කුඩා කෝප්පයක් ඇති අතර එය හදුන්වනු ලබන්නේ, “සකාසුකි” නමිනි.

ජපානයේ ඉතිහාසය  විවිධ යුග වලට බෙදා වෙන්කර හදුන්වන අතර, සකේ පානයේ ආරම්භය “නරා” නම් යුගය (ක්‍රි.ව. 710 – 794) දක්වා දිව යයි. ඉතා දීර්ඝ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ජපානයේ පැරණි පොත් පත් වල එකල ජපානයේ මධ්‍යසාර භාවිතය පිළිබදව ද, සහල්, කෝපි සහ වතුර මිශ්‍ර කර සකස් කළ සබෑ සකේ පිලිබදව ද ලියැවී ඇත. “හෙයියන්” නම් යුගයේ දී ආගමික උත්සව, විනෝද ක්‍රීඩා සහ උසාවි තුළ පැවති උත්සව වැනි අවස්ථාවන් වල දී සකේ භාවිතා කර ඇත. 

සකේ සැකසීම සදහා සහල්, වතුර සහ ඊස්ට් යන ප්‍රධාන අමුද්‍රව්‍ය යොදා ගන්නා අතර, සකේ පෙරීමට භාවිත කරන්නා වූ විශේෂ සහල් වර්ගය “ෂුසො කොටෙකිමායි” නොහොත් “සකේ සහල්” යනුවෙන් හදුන්වනු ලැබේ. මෙම සහල් වල පවතින්නා වූ විශේෂත්වය වනුයේ, එම සහල් විශාල සහ ශක්තිමත්භාවයෙන් යුක්ත වීමයි. එසේම සකේ පානය සැකසීමට යොදා ගනු ලබන සකේ සහල් වල සුළු වශයෙන් ප්‍රෝටීන් හා ලිපිඩ ද අඩංගු වේ. තවද මෙම සහල් වර්ගයට අයත්  සකේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා විවිධ සහල් ප්‍රභේද 80 ක් පමණ අද වන විට ජපානය තුළ තිබේ. 

ප්‍රධාන සකේ වර්ග දෙකක් ඇත. ඒවා නම්, “ෂුට්සු-ෂු” නොහොත් “සාමාන්‍ය සකේ” සහ “ටොකුටෙ මෙයිෂෝ-ෂු” නොහොත් විශේෂිත සකේය. සාමාන්‍ය සකේ, වයින් වලට බොහෝ සෙයින් සමාන වන අතර, විශේෂිත සකේ යනු, සුවද මුසු කළ සකේ ය. තවද විශේෂිත සකේ වර්ග 8ක් පමණ තිබේ. සකේ පානය ජපන් ජාතිකයන් විසින් පානය කිරීමට පෙර තමන්ගේ වාර්ෂික අස්වැන්න සරු කර දෙන මෙන් ඉල්ලමින් දෙවියන්ට පුජා කිරීමට පුරුදු වී සිටීමෙන් පෙනී යනුයේ සකේ පානය ඔවුන්ගේ සංස්කෘතියට කොතෙක් දුරට මුල් බැස ගෙන ඇත්ද යන්නයි. විශේෂයෙන් මෙම පූජා විධිය “ඔමිකි” හෝ “මිකි” යනුවෙන් හදුන්වනු ලැබේ. තවද දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් ජාතිකයන් විසින් ඔවුන්ගේ මෙහෙයුම් වලට පිටත් වීමට පෙර සකේ පානය කිරීමට පුරුදුව සිටියේ එමගින් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පතමිනි. 

සකේ පානය විවිධ මාර්ග ඔස්සේ ජපන් සංස්කෘතිය හා බැදී පවතින ආකාරය දැකගත හැකිය. විශේෂයෙන්ම විවිධ උත්සව අවස්ථාවන්හිදී හා මංගල්‍ය හා ආවමංගල්‍ය අවස්ථාවන්හිදී ද සකේ පානයට වැදගත් ස්ථානයක් හිමි වී ඇත. ආගමික උත්සව තුළදී සකේ කිසියම් දානමය ආකාරයෙන් පිළිගන්වන අතර, සැණකෙළි අවස්ථාවන්හිදී විනෝදාස්වාදය සදහා එකිනෙකා වෙත සකේ විසිකර ගැනීම, භූමිය මත විසුරුවා හැරීම සිදු කරනු ලැබේ. ඒ තුළින් ප්‍රීතිය ප්‍රකාශ කිරීම, පවිත්‍රත්වය හා දෙවියන් සතුටු කිරීම ආදී දෑ බලාපොරොත්තු වේ. තවදුරටත්, විශාල ව්‍යාපාර කටයුත්තක් ආරම්භයේදී හෝ විවාහ ගිවිස ගැනීමකදී සකේ පානයට  විශේෂිත වූ කෝප්පයක් යොදා ගනු ලැබේ. විශේෂයෙන් ම විවාහ ගිවිස ගැනීමකදී මනාලයා හා මනාලිය එකම භාජනයකින් සකේ පානය කරමින් ඉදිරි අනාගතයේදී පැන නැගිය හැකි ඕනෑම ගැටළුවක් සමව බෙදා ගැනීමේ කැමැත්ත ප්‍රකාශ කරති. 

කියවන්න:  ගම්පෙරළියට (Gamperaliya) වයස අවුරුදු 75යි

එසේම, විවිධාකාර වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් යුක්තව සකසන ලද සකේ බෝතල් දක්නට ලැබේ. සුදු පැහැති සකේ බෝතල් තුළින් දෙවියන් සදහා වූ පුජනීයත්වයක් පිළිබිඹු කරනු ලැබේ. එය පිරිසිදු හා ශුද්ධ ස්වභාවයක් උසුලයි. එසේම රතු සහ කහ පැහැති බෝතල් තරමක වෙනස් ස්වරූපයක් උසුලන අතර, රන් සහ රිදී පැහැයෙන් සරසන ලද සකේ බෝතල් තුළ අන්තර්ගත සකේ පානයේ රසය වෙනස් ස්වරූපයක් ගනී. මංගල සාද වැනි උත්සව වඩාත් විශේෂවත් කිරීමට ඒවා භාවිතා කරනු ලැබේ. 

Source: sakuradeshaya.blogspot.com